ටෙලි වෘතාන්ත ඉතිහාසය හා කෝරළේ මහත්තයා 2

බොහොම කාලෙකට පස්සෙ ඔන්න අද දුලාට නිදහසක් ලැබුනේය.දැන් පූර්ණකාලීන බ්ලොග්කරණයේ යෙදිය හැකිය. ඔහෙලාට දැන් මාව මතකද දන්නෙත් නැතිය.ඉක්මනට ඇවිත් ඉක්මනට ගිය එකෙක් ලෙස ඇතැමුන් හිතන්නටද ඇත.එහෙත් දුලා එසේ නැතිය.බ්ලොග්කරණයේ යෙදීමට නොහැකි වූයේ එක දිගට පැමිනි විභාග කීපයකටම දුලාට මුහුන දීමට සිදු වූ නිසාය.ඒවායින් වැඩක් නැතිය.අද කාලීන මාතෘකාවක් ගැන ලියන්නටද නැතහොත් පරණ කතන්දරයක් ගැන ලියන්නදැයි දුලාට හිත හිත හිටිය වෙලාවේ දෙකටම අයිති මරු මාතෘකාවක් පහල වුනේය.උඩ ලියා ඇත්තේ ඒකයි.

ඉස්සරම දවස් වල අපේ මිනිස්සුන්ට රසවින්දනයට කියා තිබුනේ ගමේ රඟදැක්වූ රූකඩ,ටීටර්,නාඩගම් කියන ඒවාය.19 වන සියවසේ දී බයිවාලා නෘත සමාගම ආරම්භ වීමත් එක්කම වේදිකා නාට්‍ය කලාව ආරම්භ වුනාය.ඒක ඉතින් දියුණු වෙන්න ප්‍රධානම හේතුවක් වුනේ අපේ එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාය.ඔය වේදිකා නාට්‍ය ගැන කතා කරනවා නම් ඉතින් බ්ලොග් පෝස්ට් දෙක තුනක් වුනත් ලියන්න පුලුවන්ය.ඒක ගැන පස්සේ කතා කල හැකිය.ඊට පස්සේ රිදී තිරයේ පැමිනීම අපේ අයගේ රසවින්දන ක්ෂේත්‍රයේ මහා විපර්යාසයක් වීමට හේතු වුනේය.ඊට පස්සේ ආවේ වෑර්ල්ස් එකය.

ඒත් අද දුලා ලියන්නට යන්නේ 80 දශකයේ ආරම්භ වූ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැනය.මේක පටන් ගත්තේ 80 මුල දී ජාතික රූපවාහිනියේ ආරම්භයත් සමගය.[ඒක ගැන අපේ හැලපයා ලියන නිසා අමුතුවෙන් ලියන්න්නට ඕනෑ නැත්තේය.]මුල්ම ටෙලි නාට්‍යය වුනේ එහි විකාශය වුනු දිමුතු මුතු කියන එකය.ඊට පස්සේ කන්දේ ගෙදර,චරිත තුනක් ,ලා හිරු දහසක්,පලිඟු මැනිකේ කියන ඒවා ආවේය.තවමත් ඒවා අමතක නොවන තරමට රසවත්ය.රට ගොස් ආපු හිපියා විදිහට ශ්‍රියන්ත මෙන්ඩිස් හා උගේ පස්සෙන් ගිය කොලුවා වශයෙන් ජැක්සන් ඇන්තනි සිදුකල අනර්ඝ රංගනය අදටත් මතකයෙන් ගිලිහී නොයන්නේය.යශෝරාවය,දූ දරුවෝ ගැන කතා කර වැඩක් නැත.සුපිරිය:පට්ටය:නියමය.දූ දරුවෝ නාට්ටිය කොපමන ජනප්‍රිය වුනාද කියන්නේ නම් ඒ චරිත දා කරපු ඇඩ් අදටත් විකාශය වන්නේය.[වහල කඩාගෙන වැටෙන ඇඩ් එක].අද එදා වගේ විශිෂ්ට නිර්මාණ බිහි නොවේය.වැඩිහරියක් ඇත්තේ වාණිජ කරනයට ලක් වුනු හරසුන් නාට්ටිමය.කොටින්ම කිව්වොත් එකල පොරකා බැලූ අයි.ටී.එන් හි විකාශය වෙන කෝපි කඩේ අද ආණ්ඩුවට කහින නාට්ටියක් වෙලාය.ඇත්තටම ඒකේ පරිහානිය සිදු වූයේ ඔය ගජං මලයා හා දයාවතී ගේ අයින් වීමත් එක්කය.එක දවසක් සම්පූර්ණයෙන්ම ඩයලොග් Ez Cash ගැන එහි කතන්දරයක් ගියේය.හරියට වෙලඳ දැන්වීමක් වගේය;කතා කර වැඩක් නැතිය.

දැන් මේ ඉතිහාස කතන්දරය පොඩ්ඩකට නවත්වා කෝරලේ මහත්තයා ගැන කියමි.මොනවා වුනත් අදටත් හොඳ රසවින්දනයක් ලබා ගන්න පුලුවන් ඉහල ගණයේ නාට්‍ය නිර්මාණය වෙනවාය.ඉන් හොඳම එකක් ලෙස කෝරලේ මහත්තයා හැඳින්විය හැක්කේය.අපි පොඩි කාලේ රේඩියෝවෙන් රසවිඳි මුවන්පැලැස්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මානය මේකය.කෝරලේ මහත්තයාට ඉන්නේ අපේ වරකා මහත්තයාමය.කදිරා,ජන්තු,පිනා එහෙම්මම සිටින්නේය.පුංචි ගුරුන්නන්සේ,රන් බන්ඩා මුදලාලි වශයෙන් තවත් චරිත කීපයකුත් එකතු වෙලාය.දුලා මේ ගැන මෙච්චර දන්නේ 2011 දී විකාශය වූ කෝරලේ මහත්තයා 1 කොටස උපරිමයෙන්ම රසවින්ඳ නිසාය.එකල කෝරලේ මහත්තයා අයි.ටී.එන් හි අමන්දා එක්කත්,සිරසේ සිහින පුරය එක්කත් කරට කර තරග වැදුනේය.දුලා දන්න තරමින් නම් තරග කර දිනුවේය.දැන් යන්නේ එහි දෙක කොටසයි.කදිරා, සිලිඳිව පැහැරගෙන ගිය කයිතන්ගෙන් ඇයව බේරාගැනීමේදී කයිතන්ට වෙඩි වැදී මිය ගියේය.මිනී මැරීමේ වරදට කෝරලේ මහත්තයාට කදිරාව පොලීසියට ඉදිරිපත් කිරීමට සිදු වේ.එතනින් කලින් කොටස අවසන් විය.කෝරලේ මහත්තයා 2 ගිය සිකුරාදා රෑ 9 සිට ITNඑකෙහි ආරම්භ විය.ඉතින් කලකට පසු එන මෙගා වුවත්, හරවත්,රසවත් නිර්මාණයක් වන මේ ගැන ඔබව දැනුවත් කිරීමට දුලාට සිත්විය.තීරනය ඔබේ අතේය.ටෙලි නාට්‍ය ඉතිහාස කතන්දරේ මතු සම්බන්දය!

සැ.යු: මෙය ඔබට රසයක් අත්පත් කරදීමේ අරමුනින් ලියන ලද්දක් වන අතර,ITN එකෙන් කීයක් දුන්න දැයි ඇසීම නොහොඹීය.

මෙය ලිපියකටත් වඩා සාකච්ඡාවක්ය.අර කලින් කී නාට්‍යයන් ගැන ඔබේ මතකයන් බෙදාගැනීමට කැමති නම් ඉතා අගනේය.

දුලා

SHARE
    Blogger Comment
    Facebook Comment

34 comments:

  1. කෝරලේ මහත්තයා කතාව ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ ගියා කාලෙකට ඉස්සර. මම ඒක නම් බොහොම ආසාවෙන් ඇහුවා. සඳුදද කොහෙද රෑ 8.30ට. කතාංගය නම් බලල නෑ. නමුත් ඔය කියන කතා රසය නොඅඩුව ලැබුවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.
      ටෙලි කතාවත් ඒ වගේම පට්ටයි.අද බලන්ට.
      බොහොම ස්තූතියි සහෝ comment කලාට.

      Delete
  2. කොහේද බං මක බෑවිල හිටියෙ?
    පොඩ්ඩක් ඉදිං එකක් නමාගෙන ඇවිල්ල කියවල කොටන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙලාම දැක්කේ "එකෙක්" නවාගෙන ඇවිල්ල කොටන්නම් කිව්වා වගේ, ආපහු බලනකොටයි දැක්කේ "එකක්" කියලා ,

      Delete
    2. හෙහ්..හෙහ්.. එහෙම පේන්නෙ කලින්ම එකක් නවාගෙන කියවන උදවියට නොවැ :).

      Delete
    3. @කෙන්ජි
      දන්නැද්ද කෙන්ජියො ඉතින් මේ වැඩ රාජකාරිත් එක්ක...

      @ ප්‍රගීත් & කෙන්ජි
      මොකද්ද මේ එකක් නවා ගෙන කියවනවා කියන්නේ? offline කියවන එකද?

      Delete
  3. දුලා.....රසවත් සාකච්ඡාවක් දිගටම සහභාගි වෙන්න ඕන.මෙතනට දැනට අදාල නැති කතා දෙකක් ලියන්නම් සහ අහන්නම්.
    1)අමුතු මිනිස්සු ටෙලිය ගැන මම පොඩි සටහනක් ලිව්වා මගේ බ්ලොග් එකේ කිහිප දිනකට පෙර.ඒක ගැන මොකක් හරි ලියන්න පුලුවන්නම්.(ටෙලිය ගැන.)
    2)නටු නැති මල් ටෙලි නාට්‍යයේ පලිඟුගේ චරිතය රඟපාන නිලිය කවුද?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අරූව!

      1)සබැඳියක් එවන්න.
      2)අද යන නාට්ටි නම් මං බලන්නේ නෑ සහෝ.ඒක නිසා ඔය ප්‍රශ්නෙට පිලිතුරක් මම දන්නේ නෑ.මේ දවස් වල බලන්නේ ITN එකේ කෝරලේ මහත්තයයි රූපවාහිනියේ ඉසිවරුණයි,නිරි සත්ත්වයෝ කියන එකයි විතරයි!

      Delete
    2. 1)http://informe.com/go/?domain=arugeadaviya.wordpress.com&url=http://arugeadaviya.wordpress.com&keyword=අමුතු මිනිස්සු ටෙලි නාට්‍යකට වඩා ටෙලි කාව්‍යයක් කියලයි මට හිතෙන්නේ.ජාතික රූපවාහිනියේ දැනටත් විකාශයවේ.
      2)නටු නැති මල්--ජාතික රූපවාහිනියෙන් විකාශය කරන ලද විශිෂ්ටම ටෙලි නාට්‍යයක් බව මගේ හැඟීමයි.

      Delete
    3. 1)අමුතු මිනිස්සු ,දැන් ජාතිකේ 8.30 ට.ඒ බෙල්ට් එකට විතරයි මෙච්චර කාලෙක්ට මෙගා නොවන නාට්‍ය තිබ්බේ.දැන් ඒකත් ඉවරයි.හැබැයි අමුතු මිනිස්සු මෙගා වුනත් ප්‍රබුද්ධ ගනයේ නාට්ටියක්.19 වන සියවසේ බ්‍රිතාන්‍ය සමය අපූරුවට නිරූපනය කරලා තියෙනවා.ඉතිහාස කතන්දරේ ලියද්දි ඕක ගැනත් ලියන්නම් අරූ.

      2)නටු නැති මල් කොයි කාලෙද ගියේ?

      Delete
  4. Replies
    1. ස්තුතියි !
      නැවත එන්න.

      Delete
    2. @GM
      සාදරයෙන් පිලිගන්නවා දුලාගේ අඩවියට. දිගටම රැඳීඉන්න.

      @ Ano
      ඔය සමහරු කිව්වට ඇනෝලා මහ වදයක් කියලා.ඔබතුමන්ලා අපිට කරන්නේ විසාල සේවයක්නේ....

      Delete
  5. 80 දශකය තමයි ටෙලි කලාවේ ස්වර්ණමය යුගය, ප්‍රවෘත්ති ඇරුනාම අයි.ටී.එන්. සහ ජාතික රූපවාහිනිය ඉහල රසඥතාවයක් තියෙන නාට්‍ය කලාවේ ප්‍රමුඛයෝ .

    ReplyDelete
    Replies
    1. අදටත් වලංගුයි සහෝ.
      මේ දවස්වල ජාතිකේ යන ඉසිවරුණ,නිරිසත්වයෝ මාස කීපයකට කලින් ඉවර වුනු සල් මල් ලන්ද ප්‍රබුද්ධ ගණයේ නාට්‍ය.(ඔය සල්මල්ලන්ද ගැන වෙනම පෝස්ටුවක් වුනත් දාන්න පුලුවන් තරමට උසස්)

      Delete
  6. තමන්ට හිතෙන දේ කියන්න බය වෙන්න ඕන නෑ.. ඔය අපේ කෝරලේ කාරයා නොවේනං ටෙලිය හොදයි මමත් කොටස් කිපයක් බැලුවා.. සමස්ථයක් විදියට විවිධ පැතිකඩ වලට ඈදෙන ටෙලි කිහිපයක් ම ජාතිකෙයි අයිටීඑන් එකෙයි තියෙනවා.. ස්තුතියි තැන පෙන්නුවට. නැත්නං හොයාගන්න ටිකක් අමාරුයි නෙව..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඔය කෝරලේගේ නොහොඹිනා වැඩ කීපයක් තියෙන එක නම් ඇත්ත.ඒ ඉතින් පාලක පැලැන්තියේ හැටිනේ.

      Delete
  7. දිමුතු මුතු , කන්දේ ගෙදර,චරිත තුනක් ,ලා හිරු දහසක්,පලිඟු මැනිකේ නැවත නැවත බලන්ඩ අසා හිතෙනවා . තවමත් ටෙලී නාට්‍ය කියල දෙයක් තියෙනවද ? අදයි ආවේ..........

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා දුලාගේ අඩවියට.දිගටම රැඳී ඉන්න.
      දැන් තියෙන ඒවට ටෙලි නාට්ටි කියල කියන එකත් වැරදී තමා.

      Delete
  8. මං හිතං හිටියේ පළවෙනි කොටසින් ඒක ඉවරයි කියලා... දෙවනි කොටසට අයිටීඑන් එකට මාරු උනෙ මොකද මන්ද.. මටත් කෝරළේ මහත්තයා කතාව අල්ලලා ගියා... මොනා නැතත් පිනයි කදිරයි නං නියමයි... කෝරළේ මහත්තයයි හාමිනෙයි ගැන නං කියන්න දෙයක් නෑ නේ... මං දන්න තරමිනුත් නාට්ටි තුනෙන් දිනුවේ කෝරළේ මහත්තයා තමා... හි හි...

    දැන් ඉතිං රෑ9 වෙනකම් ඉන්නවා කියන්නෙත් ලෙඩක්... ඕක 7.30ට නේ ගියේ කලින්... ඒක නිසා බැලුවා.. දැන් නං ටීවී එක දාන්නෙත් කළාතුරකින් නිසා බැලෙයිද කියලා ෂුවර් එකක් නෑ... බලමුකෝ ට්‍රයි එකක් දීලා...

    අනිත් ඒවයින් නං මට හොඳට මතක ශ්‍රියන්ත මෙන්ඩිස් හිටපු ඉදිආප්ප ගෙදර කතාව තමයි... කතාවෙ නම මොකද්ද කියලා දැන් මතක නෑ... ( ඔන්න ඒ කාලේ තමයි ඕවා බැලුවෙ.. හි හි) ඒකේ චකබ්ලාස් කතන්දරේ එහෙම... පළිඟු මැණිකේ කියන්නේ ඒක නෙවෙයිනේ.. මට ඒකේ මතක කතාව නෙවෙයි... අර පටං ගන්න කලින් නම් ටික දාද්දි දාන වෙස් මූණු ටික... හි හි

    ReplyDelete
    Replies
    1. ඉදිආප්ප කතාව "හිරුට මුවාවෙන්"

      Delete
    2. @ hiru

      බොහොම ස්තූතියි හිරු අක්කා ආවට,කමෙන්ට් කලාට.ඒක මට විසාල ගෞරවයක්.

      හැබෑටම ITN එකට මාරු වුනේ මොකද කියලා නම් දන්නේ නෑ.ඇතුලේ අවුලක් වෙන්න ඇති.
      කොහොමත් පිනාගෙ වැඩ කතාවට ප්‍රාණයක් ගෙන දෙනවා.ඉදි ආප්ප ගෙදරක තිබ්බ කතාවක් ගැන ලාවට වගේ මතකයි.නම නම් මතක නෑ.

      Delete
  9. මමත් පලවෙනි වතාවටයි දුලාට කමෙන්ට් කරන්නෙ.අර කිව්වත් වගේ දැන්නම් ටෙලි නාට්‍ය කලාවක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්,දැන් යන්නෙ මාගල් වගේ මෙගා ඒවනේ.
    කොහොමත් සිංහල ටෙලි නාට්‍ය මට බලන්න වෙන්නේ නැහැ.හොඳ නාට්‍ය ගැන දුලා ලියන්න ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපයා, මේ පැත්තේ ආවට කලාට.ඒක මට ගෞරවයක්!

      ඔය මෙගා කියන සංකල්පය තමයි අපේ රටේ නාට්‍ය කලාව කෑවේ.ලංකාවේ නාට්‍ය කරුවන්ට මෙගා වලට එන්න වුනේ,සිරසේ දවස් පහේම ගිය දකුනු ඉන්දීය නාට්ටි වලින් ජනතාව මුදව ගන්න. ඒ අනුව මේකට වග කිව යුත්තා සිරස. හැබැයි මෙගා වුනත් හරවත් නාට්‍ය අදටත් බිහි වෙනවා.ඔය උඩ අරූ මතක් කරලා තියෙන රූපවාහිනියේ විකාශය වෙන අමුතු මිනිස්සු ඒ ජාතියේ 1ක්.

      Delete
  10. ඒ-ලෙවල් ඉවරයි කියලා හොඳ ටෙලියක් යනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් කකා,ඒකත් වෙනස් ගණයේ නාට්‍යයක්.ඒකත් ඉතින් යන්නේ අර කලින් කිව්වා වගේ ජාතික රූපවාහිනියේම තමා.

      Delete
  11. අතරින් පතර ඇවිත් කියවල ගියත් කමෙන්ට් එකක් දාන පලවෙනි වතාව මේක.ඔය ඉස්සර තිබුන දේ හොදයි දැන් එව්ව හොද නැහයි කියල කියන්ඩ ගිහින් මම එක පාරක් අහගත්ත වචනයක්.මම අතීත කාමයෙන් පෙලෙන්නෙක් කියල.මීට වැඩිය මොනවත් ඒ ගැන කියන්ඩ යන්නේ නෑ.ඔබට දූ දරුවෝ නාට්‍යය සහ සත්පුර වැසියෝ ටෙලි නාට්‍යය පැටලවී ඇති බවක් පෙනේ.වහලය කඩා වැටෙන දැන්වීමට සම්බන්ධ නාට්‍යය නම් සත්පුර වැසියෝ කියලයි මට මතක.ජාතික රූපවහිනියේ විකාශය වූ "ගම්පෙරළිය",ඇල්ල ලඟ වලව්ව සහ කඩුල්ල ටෙලි නාට්‍යය වල මතකය නම් අමරණීයයි..දිගටම ලියන්ඩ සුභ පැතුම්.

    http://mahapare.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඒව හොඳයි,දැනුත් අතරින් පතර හොඳ නිර්මාණ බිහි වෙනවා..
      බොහොම තුති comment කලාට
      අපිත් එන්නම්කෝ ඔය පැත්තට

      Delete
  12. ඔය කියන නාට්‍ය සෙට් එක මමත් බැලුවා. ඇත්තෙන්ම අපි ඒවටැ ඇබ්බැහි වෙලත් හිටියා.

    කෝපි කඩේ ගජංලා දයාවතීලා නැතිබව දන්නේ දැන්. ඕක දීර්ඝතම කාලයක් එකදිගට ප්‍රචාරය වෙච්ච කතාව හැටියට වාර්තාවක් තියලා තියෙන එකක් මම හිතන්නේ. අපරාදේ!

    අපි බට්ටී කතාවත් ආසාවෙන් බැලුවා 2007දි. දැන් නම් බැලෙන්නේ නෑ. කෝරළේ මහත්තයා ගැන නම් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කෝපි කඩේ දකුනු ආසියාවේ දීර්ඝතම ටෙලිය තමා. ඒත් දැන් ඒකෙන් ප්‍රේක්ෂකයට ගන්න දෙයක් නෑ.කිසි රහක් නෑ.

      ඔය බට්ටි කියන නාට්ටියත් උසස් ගණයේ එකක් තමා.හැබැයි ඊට පස්සේ අයි.ටී.එන් එකෙන් බිහි වුනු ඒවා වැඩි හරියක් ප්‍රබුද්ධ ගණයේ ඒවා නෙවේ.

      තැන්කූ ඩූඩ් කමෙන්ට් කලාට..

      Delete
  13. ජැක්සන් නම් තාමත් රගපාන්නේ පස්සෙන් යන කොලුවාගේ චරිතය නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ , දැන් මිනිහ යන්නේ රජාගෙ පස්සේ...

      Delete
  14. කෝරලේ මහත්තයා හොඳයි, ඒත් නළු නිලියන්ව රඳවා ගන්න බැරිකම නිසා මට නම් නාට්‍යය එපා වුනා. පළවෙනි කොටස ඔක්කොම බැලුවා. දෙවෙනි එක එපාම වෙලා අතෑරල දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඒ වුනත් අලුතින් එකතු වුනු චරිත වලින් නාට්ටිය ප්‍රාණවත් වුනා කියන එක තමයි දුලාගෙ හැඟීම.මොනව වුනත් ජන්තු නැති එක පාඩුවක්!

      Delete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!